සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් පසු අටවන වසරේ තුන්වැනි වරට ලක්දිවට වැඩමකළ අවස්ථාව තෙක් ඈත අතීතය හා බැඳුනකි. බුදුරදුන් එම ගමනේදී රහතන් වහන්සේලා පන්සිය නමක් ද සමගින් මුලින්ම කැලණියට වැඩම වූවාට පසු උන්වහන්සේ එම රහතන් වහන්සේලා ද සමගින් සිරිලක මහවැලි ගඟ දකුණු තෙර සේරුනම් විල්තෙර කෙළවර පිහිටි වරාහසොණ්ඩ නම් ගල් කෙමිය අසල සුපිහිටි මෙම පුණ්‍ය භූමියට වැඩම කළ අවස්ථාවේ මේ භූමියේ රැස්ව සිටි සුමන නම් නාරජු ඇතුලු නාපිරිස අමතා, “මේ භූමියේ කකුසඳ, කෝනාගම, කාශ්‍යප යන පෙර තුන් බුදුවරුන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා නිධන් කොට ඇති බවත්,පිරිනිවීමෙන් පසු මාගේ ලලාට ධාතුව පිහිටුවා අනාගතයේදී මේ රටේ රජකම් කරනු ලබන කාවන්තිස්ස නම් රජතුමන් විසින් මාහැඟි දාගැබත් කරවනු ලබන්නේය.” යනුවෙන් තථාගත විවරණය අනුදැන වදාළ සේක.
ඉක්බිති සුමන නාරජු කැඳවා, මෙම ප්‍රදේශය ආරක්ෂා කිරීමට දන්වා වදාරා තථාගතයන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදි සේක. ඉන් වසර තිස්හතකට පමණ පසු පිරිනිවන් පා වදාළ බුදුරදුන්ගේ ශේෂ වූ ධාතූන් වහන්සේලා ද්‍රෝණ නම් බ්‍රාහ්මණයා විසින් රැස්ව සිටි රජවරුන් අටදෙනෙකු අතරේ බෙදා දෙන ලදි. ධාතූන් වහන්සේලා බෙදා ගැනීමට ගිය අවස්ථාවේ මල්ල රජදරුවන් ඇතුළු අනෙක් රජවරු කලහ කිරීමට සැරසුන මුත්, සියළුම රජවරුන්ගේ ගුරු වූ ද්‍රෝණ බමුණා ඔවුන් සාමදාන කොට, ධාතූන් වහන්සේලා කොටස් අටකට බෙදා දුන්නේය.
ඉන් මල්ල රජවරුන්ට හිමි වූ ධාතූන් වහන්සේලාගේ කොටසේ, බුදුරදුන්ගේ ශේෂ වූ විශාලම ශාරීරික ධාතුව වන ලලාට ධාතූන් වහන්සේ ද විය.
බුදුරදුන් ජීවමාන කාලයේ අනුදැන වදාළ පරිදි ලලාට ධාතූන් වහන්සේ ලංකාද්වීපයට අනාගතයේදී බාර දිය යුතු බැව්, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් මල්ල රජවරුන්ට පහදා දුන් පසු රජතුමා ලලාට ධාතුව මහා කාශ්‍යප මහ තෙරුන්ටම බාර දුන්නේය
උන්වහන්සේ තමන්ගේ සද්ධිවිහාරික වූ මහා නන්ද තෙරුන් කැඳවා, බුදුරදුන් ජීවමාන කල අනුදැන වදාළ පරිදි, අනාගතයේදී එම ධාතුව ලංකාද්වීපයට යැවිය යුතු බව පවසා එතෙක් එය විශාලා මහනුවර මහා වන විහාරයේ කූටාගාර ශාලාවේ බුදුරදුන් විසූ ගඳකිළියට වඩා පූජා පවත්වන ලෙස දේශනා කළ සේක. මහා නන්ද තෙරුන් වහන්සේ ද ධාතූන් වහන්සේට පූජා පවත්වා වාසය කොට, තමන් වහන්සේගේ ආයුෂ කෙළවර උන්වහන්සේ සද්ධිවිහාරික චන්ද්‍රගුප්ත නම් තෙරුන් වහන්සේට ධාතු පිළිවෙල වදාරා පිරිනිවන් පෑ සේක. චන්ද්‍රගුප්ත තෙරුන් වහන්සේ ලලාට ධාතුව සැවැත්නුවර ජේතවනාරාමයේ සුගන්ධ කුටියේ ද, උන්වහන්සේගෙන් පසු භද්දසේන නම් තෙරුන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයෙහි ද, උන්වහන්සේගෙන් පසු ජයසේන නම් තෙරුන් වහන්සේ වේළුවනාරාමයෙහි සුගන්ධ කුටියේ ද, උන්වහන්සේගෙන් පසු සංඝරක්ඛිත නම් තෙරුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි සුගන්ධ කුටියේ ද වශයෙන් ලලාට ධාතූන් වහන්සේ වඩාහිඳුවා දිවිහිමියෙන් සුරකිමින් ජීවමාන බුදුරජුන්ට මෙන් පුද පූජා පැවැත්වූහ.
මෙසේ පිළිවෙළින් ජයසේන, සංඝරක්ඛිත, මහදේව යන රහතන් වහන්සේලා බොහෝ කාලයක් මහත් පුද සත්කාර පවත්වමින් ලලාට ධාතූන් වහන්සේ සුරක්ෂා කළේ බොහෝ ම ගෞරවයෙන්. මහාදේව රහතන් වහන්සේ කල් දැන, ධාතූන් වහන්සේ රැගෙන ලක්දිවට වැඩ හත්ථොට්ට ජනපදයේ මහාකාල උපාසකතුමාගේ සහයෙන් ධාතුගෙයක් කරවා නොයෙකුත් පුදපූජා පවත්වමින් එහි වැඩ සිටියා.
එකල මාගම රජ කළ මහානාග රජතුමාට පුන් පොහොය දවසට සවණක් ඝන බුදුරැුස් විහිදුවමින් බබළන මේ ධාතූන් වහන්සේ ගැන දැන ගන්න ලැබුණා. රජතුමා මහත් ප‍්‍රීතියට පත් වී සුවඳ පැනින් හිස සෝදා, උතුම් වස්ත‍්‍ර හැඳ පෙරවා, මහාදේව රහතන් වහන්සේගේ අවසරයෙන්, ධාතු ගෙයට පැමිණ, දොහොත් මුදුන් තබා වන්දනා කළා. එකෙණෙහි ම ලලාට ධාතූන් වහන්සේගෙන් මුළු ලක්දිව ම එ්කාලෝක කරමින් සවණක් ඝන බුදුරැස් විහිදුනා. රජතුමා මහත් ශ‍්‍රද්ධාවෙන් වැඳ වැටෙද්දී ලලාට ධාතූන් වහන්සේගේ අනාගත ධාතු විස්තරය මහාදේව රහතන් වහන්සේ විසින් මහානාග රජතුමාට පවසා වදාළා.
මුලින් ම ධාතූන් වහන්සේ භාර වුණේ මහානාග රජතුමාට. ඉන් පසුව ඔහුගේ පුත් යටාලතිස්ස කුමරුන්ටත්, යටාලතිස්ස රජතුමා ඔහුගේ පුත් ගෝඨාභය කුමරුන්ටත් ධාතූන් වහන්සේ භාර කළා. ගෝඨාභය රජතුමා මරණාසන්න වෙද්දී, තම පුත් කාවන්තිස්ස කුමරු ළඟට කැඳවා, වැළඳගෙන ‘පුතා තිස්ස, සර්වඥයන් වහන්සේගේ මේ ලලාට ධාතූන් වහන්සේ අපගේ පරම්පරාවෙන් මෙතුවක් කල් දිවි දෙවෙනි කොට ආරක්ෂා කරගෙන පැමිණියේ ය. අනාගත කාලයෙහි ලක්දිව කාවන්තිස්ස නම් රජෙකු පහළ වෙයි, එ් රජතුමා මහවැලි ගඟ දකුණු තෙර සේරු නම් වූ විල් කෙළවර ‘වරාහ සොන්ඩ’ නම් ගල් පොකුණ සමීපයෙහි මහ සෑයක් කරවා මේ ධාතූන් වහන්සේ එහි තැන්පත් කරවන්නේ යැයි මාගේ ශාස්තෘන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයෙහි දේශනා කොට තිබෙයි. එය එසේ ම වේවා!’ යි උපදෙස් දී කලූරිය කොට දෙව්ලොව උපත ලැබුවා.
කාවන්තිස්ස රජතුමාගෙ හිසේ මලක් පිපුන වගේ, ‘අනේ මාගේ ස්වාමී වූ සම්බුදුරජාණන් වහන්සේ මාවත් දැක තිබෙන්නේ ය’ යැයි මහත් සොම්නසින් රහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි නිසි කල් යල් බලා මංගල මහ සෑයේ කටයුතු ආරම්භ කළා.
මේ කටයුතුවලට මූලිකව උපදෙස් දීපු රහතන් වහන්සේනමක් සිටියා. එ් තමයි චුල්ලපිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ. උන්වහන්සේ විහාර මහා දේවියගේ සොහොයුරෙක්. ඉතින් මංගල මහ සෑය පිහිටන ස්ථානය නිවැරදිව දැන හැඳිනගෙන එ් භූමිභාගය මනා කොට ශුද්ධ පවිත‍්‍ර කොට මහත් වූ උත්සවශ‍්‍රීයෙන් වෙසක් පුන් පොහෝ දිනයක මංගල මහ සෑය වෙනුවෙන් මුල් ගල තබද්දී මේ මිහිකත කම්පා වුණා. අහස ගිගුම් දුන්නා.
ඉක්මනින් ම ධාතු ගර්භය පිහිටන උසට සෑය නිම වුණා. රජතුමා මේ බව මහා සංඝරත්නයට දැනුම් දුන්නා. එවිට චුන්ද, උත්තර කියන රහත් සාමණේරවරු දෙනම හිමාල වනයට ගොස් මේදවර්ණ පාෂාණ හයක් ඍද්ධි බලයෙන් රැුගෙන වැඩියා. මේ චතුරස‍්‍රාකාර ගල් පුවරුවක් සෑය මධ්‍යයේ තබා අනෙක් සතර, සතර දිසාවෙන් වට කොට ධාතු ගර්භයේ බිත්ති සකස් කළා. අනෙක මුදුන් පියන ලෙස තැබීමට පසෙකින් තැබුවා.
රජතුමා නව කෝටියක රන් ගෙන්වා, රන් ගඩොල් තනවා, එ් රන් ගඩොලින් ඇතුළත බිත්ති නිම කළා. ධාතු ගර්භය රන් රිදී මුතු මැණික්වලින් අනේකවිධ වූ මල් ලියකම් ආදි සැරසිලි කොට එ් මධ්‍යයේ රනින් ආසනයක් තනවා දඹ රනින් ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී සම්බුද්ධ ශරීරයේ ප‍්‍රමාණයට බුද්ධ ප‍්‍රතිමාවක් කරවූවා. මේ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ අතිශයින් ම ආශ්චර්යවත් එකක්. ප‍්‍රතිමාවේ නේත‍්‍ර යුග්මයේ සුදු කොටස අගනා පළිඟුවලින් ද කළු කොටස හා දෙබැම හා කෙස් ඉන්ද්‍රනීල මාණික්‍යයෙන් ද අතුල් පතුල් දෙතොල් ආදි රතු පැහැයට හුරු තැන් රතු පබළුවලින් ද සම සතලිස් දන්තයන් දියමන්තියෙන් ද ඌර්ණ රෝම ධාතුව පිරිසිදු රිදියෙන් ද කරවූවා.
ධාතු නිධානෝත්සව දිනය එළඹුනා. සතරදිගින් මහ ජනයා අලංකාර වස්ත‍්‍රාභරණයෙන් සැරසී සාධුකාර දෙමින් රැස්වුණා. සෝම නුවරින් ගිරි අභය රජු හා සෝමා දේවිය මහත් වූ පූජා භාණ්ඩ ගෙන සිය පිරිවර සමගින් ද ලෝණ නුවර මහානාග රජු සිය පිරිවර සමගින් ද සේරු නුවර සිව රජු සිය පිරිවර සමගින් ද පැමිණ මහා සංඝරත්නයට වැඳ නමස්කාර කොට එකත්පස්ව සිටියා. ඊට පස්සේ චුල්ලපිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ පන්සීයක් මහ රහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩියා. මේ ආකාරයට සතර දිගින් මහ රහතන් වහන්සේලා හත්දහසක් මේ ස්ථානයට වැඩම කොට වදාළා. සිව මහරහතන් වහන්සේ නා ලොවින් කේශ ධාතූන් වහන්සේලා රැගෙන වැඩියා. රහතන් වහන්සේලා හිමාලයෙන්, තව්තිසාවෙන් නොයෙකුත් දිව මදාරාදී මල් ද සුවඳ සඳුන් ද අනර්ඝ මාණික්‍ය සතරක් ද ගෙන වැඩියා.
කාවන්තිස්ස මහ රජතුමා මැණික් කරඬුව විවර කොට ලලාට ධාතූන් වහන්සේ හිස මතට ගත්තා. සුදු මුතු කුඩයකින් සෙවණ සලසා තුන්වරක් සෑය පැදකුණු කොට මෙසේ අධිෂ්ඨාන කළා. ‘තථාගතයන් වහන්සේගේ යම් අධිෂ්ඨානයක් වෙද්ද එපරිද්දෙන් ම මේ ලලාට ධාතුන් වහන්සේ මා විසින් නිම කරන ලද මේ ස්වර්ණමය බුද්ධ ප‍්‍රතිමාවේ නළල් තලයෙහි ඌර්ණ රෝම ධාතුව ප‍්‍රකට කරමින් වැඩ හිඳීවා.
එකෙණෙහි ම එ් අසිරිමත් ලලාට ධාතූන් වහන්සේ අහසට පැන නැගී සවණක් ඝන බුද්ධ රශ්මි මාලා විහිදුවමින් මහත් පෙළහර පා අනතුරුව රජුගේ අධිෂ්ඨානය පරිද්දෙන් ම ස්වර්ණමය බුද්ධ ප‍්‍රතිමාවේ නළල් තලයෙහි පුරසඳ මෙන් බබළමින් ඌර්ණ රෝම ධාතුව ප‍්‍රකට කරමින් වැඩ සිටියා. කේශ ධාතූන් වහන්සේලා ද මෙසේ ම ප‍්‍රතිමා ශීර්ෂයෙහි පිහිටියා.
පැමිණ සිටි ජනයා මේ අසිරිය දැක මහත් ශ‍්‍රද්ධාවෙන් සාධුකාර දී වැද වැටෙමින් තමන් පැලඳ සිටි ස්වර්ණාභරණ ගලවා පූජා කළා. රජතුමා ද තමන් පැලඳ සිටි රාජාභරණ පූජා කළා. ඉන් පසු රජතුමා ධාතු ගර්භයට පිවිස රහතන් වහන්සේලා ගෙනා මැණික් සතර, සතර කොණේ තැබුවා. සියලූ රන්කම්වල කාන්තිය ද පරදවමින් එ් මැණික්වලින් එළිය විහිදුනා. මේ සියලූ අසිරිය දැක ශ‍්‍රද්ධාවෙන් ඇලලී ගිය කාවන්තිස්ස මහ රජතුමා ‘මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ හැර දමා මට මේ කුටියෙන් යා නො හැකි ය’ යැයි කියා එ් අසිරිමත් පිළිම වහන්සේ පාමුල හිස තබාගෙන කඳුළු වගුරුවන්නට වුණා. මෙය දුටු සහදේව නම් රහතන් වහන්සේ රජුටත් නො දැනෙන ලෙස ඍද්ධි බලයෙන් රජු පිටතට ගත්තා. ඊට පස්සේ ඉතිරිව තිබුණ මේදවර්ණ පාෂාණය ගෙන පියන වැසූ රහතන් වහන්සේලා මේ ගල් පුවරු එකතු වේවායි අධිෂ්ඨාන කළා. එමෙන් ම මේ පිදූ මල් පර නො වේවා, මේ සඳුන් නො වියළේවා, මේ මැණික්වල ආලෝකය අඩු නො වේවා, මේ පූජාභාණ්ඩ සොර සතුරන් අතට පත් නො වේවා යි! අධිෂ්ඨාන කළා.”
මෙසේ අසිරිමත් සේරුවිල මංගල රජමහා විහාරය සැදැහැ ජනයාගේ මහත් ශ්‍රද්ධාව මැද මේ ලක් මාතාවට දායාද විය...
රජතුමා නව කෝටියක රන් ගෙන්වා, රන් ගඩොල් තනවා, එ් රන් ගඩොලින් ඇතුළත බිත්ති නිම කළා. ධාතු ගර්භය රන් රිදී මුතු මැණික්වලින් අනේකවිධ වූ මල් ලියකම් ආදි සැරසිලි කොට එ් මධ්‍යයේ රනින් ආසනයක් තනවා දඹ රනින් ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී සම්බුද්ධ ශරීරයේ ප‍්‍රමාණයට බුද්ධ ප‍්‍රතිමාවක් කරවූවා. මේ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ අතිශයින් ම ආශ්චර්යවත් එකක්.
නිවසටම ගෙන්වා ගැනීමට මෙම සැබැඳියෙන් පිවිසෙන්න..