සේරුවිල මංගල රාජමහා විහාරාධිපති

අලුදෙණියේ සුබෝධි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

උපත සහ පවුල් පසුබිම

  • අතිපූජ්‍ය අලුදෙණියේ සුබෝධි නායක හිමිපාණන් වහන්සේ 1984 ඔක්තෝම්බර් මස 26 වන දින මාවතගම රෝහලේදී මෙලොව එළිය දුටහ. දැහැමි ව්‍යාපාරිකයෙකු වූ සේන කරසිංහාරච්චි පියතුමාට සහ සුධර්මා රණසිංහ මෑණියන්ට දාව උපන් උන්වහන්සේගේ ගිහි නාමය තේමිය ධම්මික කරසිංහාරච්චි විය. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර පිහිටි සුන්දර අලුදෙණිය ග්‍රාමයේ හැදී වැඩුණු උන්වහන්සේගේ පවුලේ තවත් සහෝදරියන් දෙදෙනෙකු සිටියහ.

පාසල් අධ්‍යාපනය සහ දක්ෂතා

  • මූලික අධ්‍යාපනය: මාවතගම ප්‍රාථමික විද්‍යාලය සහ ලියද්ද ප්‍රාථමික විද්‍යාලය.

  • ද්විතීයික අධ්‍යාපනය: ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ට ලෙස සමත්ව මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් විය.

  • විශේෂ දක්ෂතා: පාසල් සමයේදී තාරකා විද්‍යා සංගමය, රොකට් හා අභ්‍යවකාශ විද්‍යා සංගමය, ජන සන්නිවේදන සංගමය සහ බාලදක්ෂ ව්‍යාපාරය යන අංශවල කැපී පෙනෙන නායකත්වයක් දැරූහ.

  • උසස් අධ්‍යාපනය: සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත්ව, උසස් පෙළ ජීව විද්‍යා (Biology) අංශයෙන් හදාරා විශ්වවිද්‍යාල වරම් ලැබූහ.

.

ශාසන ප්‍රවේශය සහ පැවිදි දිවිය

සාමාන්‍ය අධ්‍යාපනයේ ඉහළම තලයක සිටියද, රසායන විද්‍යා ගුරුවරයෙකු වූ ආර්යසිරි පෙන්නපුල මහතා සහ ගුරුදේවයන් වහන්සේලාගේ ධර්ම දේශනා ඇසීමෙන් ඇති වූ අවබෝධය මත පැවිදි වීමට තීරණය කළහ.

  • පැවිද්ද: 2004 ඔක්තෝම්බර් 30 වන දින දොම්පේ පාලුගම භාවනා මධ්‍යස්ථානයේදී සසුන්ගත වූහ.

  • ගුරුදේවයන්: සේරුවිල එවකට විහාරාධිපතිව වැඩසිටි අතිපූජ්‍ය සේරුවිල සරණකිත්ති අනුනායක හිමි සහ අතිපූජ්‍ය මුන්හේනේ මෙත්තාරාම නායක හිමි.

  • ධර්ම ශාස්ත්‍රය: අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ යටතේ ධර්ම විනය පිළිබඳ ගැඹුරු අධ්‍යාපනයක් ලැබූහ.

  • උපසම්පදාව: 2005 ජූලි 16 වන දින සේරුවිල මංගල රජමහා විහාරයේදී උපසම්පදා ශීලය ලැබූහ.

ප්‍රධාන ශාසනික සහ සමාජයීය සේවාවන් 

  • ශ්‍රද්ධා මාධ්‍ය ජාලය: 2012 වසරේදී ශ්‍රද්ධා රූපවාහිනිය ආරම්භ කිරීමට මුල් වූ අතර වර්තමානය වන විටත් එහි ප්‍රධාන අනුශාසකත්වය දරති.

  • පිවිතුරු පැන් පූජා: වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් දිවයින පුරා පිරිසිදු පානීය ජල මධ්‍යස්ථාන 150කට අධික ප්‍රමාණයක් ස්ථාපනය කළහ.

  • සමිඳු සෙවණ: නිවාස නොමැති අසරණ පවුල් වෙනුවෙන් මේ වන විට නිවාස 100කට අධික සංඛ්‍යාවක් ඉදිකර පිරිනමා තිබේ.

  • Save the Baby: රෝහල්වලට අවශ්‍ය “Incubator” යන්ත්‍ර සහ නවීන වෛද්‍ය උපකරණ ලබාදීමේ මහා පුණ්‍ය ව්‍යාපෘතිය මෙහෙයවීම.

  • විෂම භාග චිත්‍රපටය: වකුගඩු රෝගය පිටුපස ඇති සමාජ ඛේදවාචකය ලොවට හෙළි කිරීමට ජාත්‍යන්තර සම්මාන රැසක් දිනූ “විෂම භාග” චිත්‍රපටය නිපදවීමට මූලිකත්වය ගත්හ.

සේරුවිල පුනර්ජීවනය සහ අධ්‍යාපනික සේවය

  • සේරුවිල විහාරාධිපති ධුරය: 2021 මැයි මාසයේ සිට ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු භාර ගත්හ.

  • ගුරු හිඟය පියවීම: සේරුවිල කොට්ඨාසයේ පාසල්වලට ගුරුවරුන් 26 දෙනෙකු ලබාදී ඔවුන්ගේ වැටුප් පන්සල මගින් ගෙවනු ලබයි.

  • ශ්‍රී සුමේදංකර විද්‍යාලය: සේරුවිල දරුවන්ට අහිමිව තිබූ උසස් පෙළ විද්‍යා/ගණිත/තාක්ෂණ අංශවලින් යුත් පළමු පාසල පන්සල් භූමියේ ආරම්භ කළහ.

  • සත්කාර: දරුවන්ට දිවා ආහාරය, පාසල් බස් රථ සේවා සහ ස්වභාවික සේරුවිල විල සංරක්ෂණය කිරීමට පියවර ගැනීම.